November 13, 2017

නීරෝගිව ඉන්න බිම්මල් රස බලන්න


 රසවත් ආහාර වේලක් අපේක්ෂාවෙන් අපි බිම්මල් එක්කරගත්තද එහි රෝග රැසක් සුවකර ගැනීමේ ගුණයෙන් යුක්ත බව බොහෝ දෙනෙක් නොදනී. එහි ඇති විශේෂිත පෝෂණ ගුණය හා ඖෂධීය ගුණය පිළිබඳ දන්නේ නම් ආහාර වේලෙන් බිම්මල් වලට පෙරටත් වඩා සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා නිසැකය.
බිම්මල් එසේත් නැතහොත් හතු යනු සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන පුස් වර්ගයකි. ඉන් මාංසල හතු අප ආහාරයට ගනී. දැනට බිම්මල් විශේෂ 14,000ක් පමණ හදුනාගෙන ඇතත් ආහාරයට ගත හැක්කේ ඉන් විශේෂ 3000ක් පමණි.
මෙ‍සේ අපට ලැබෙන බිම්මල් අතර විෂ සහිත බිම්මල් ද දැක ගත හැක. ඒවා හදුනා ගැනීමට නිවසේදී පහත ක්‍රම අනුගමනය කළ හැකිය.
§  බිම්මල් සහ ලූණු කැබලි තම්බා හෝ කලවම් කර තැබූ විට ලූණු දම්පැහැ වේ නම්

§  රිදී හැන්දක් සමග බිම්මල් ස්පර්ෂ වන ලෙස තැබූ විට හැන්ද කළු වේනම්

§  තද වර්ණයකින් යුත්ක නම්, විශේෂිත සුවඳකින් යුක්ත නම්, කෘමින් ආකර්ෂණය නොවන්නේම් එම බිම්මල් ආහාරයට නුසුදුසු වේ.
පෝෂණීය අගය
බිම්මල් යනු ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස ආහාරයට එක්කර ගත හැකි ආහාරයකි. මස් මාළුවල තරම් ප්‍රෝටීන අගයක් නොතිබුණද මස් මාළු අනුභවයෙන් රුධිරයට එක්වන කොලෙස්ට්‍රොල් ප්‍රමාණය පාලනය කිරීමේ විශේෂ ගුණයක් බිම්මල්වල දැකිය හැක. එසේ වන්නේ බිම්මල්වල ඇති ඊරිටඩෑනින් ලෙස හදුන්වන රසායනික සංයෝගය මගින් කොලෙස්ට්‍රෝල් විනාශ කිරීම නිසාය. එම නිසා කොලෙස්ට්‍රොල් නිසා ඇතිවන අධි රුධිර පීඩනෙයන් පීඩා විදින , විවිධ හෘද රෝග ඇති රෝගින්ට වැඩිපුර බිම්මල් පරිභෝජනය වඩාත් ප්‍රතිපල දායක වනු ඇත. මීට අමතරව කැල්සියම්, යකඩ, තයමීන්, රයිබෝෆ්ලෙවීන්, නියැසීන් සහ විටමින් සී වැනි විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාරයකි.

බිම්මල් වල කැලරි ප්‍රමාණය අඩු වීමත් තන්තු බහුල වීමත් නිසා බර වැඩිවීම නිසා ආහාර පාලනය කරන ඕනෑම කෙනෙකුට බිම්මල් ආහාරයට ගැනීමට බිය විය යුතු නැත. එම නිසා ඔවුන්ට නීරස කෑම වට්ටෝරුවකින් ඉවත්ව රසවත් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් යුක්තව බිම්මල් ආහාරයට එක්කර ගත හැක.   
ලෙඩ රෝග සුව කිරීමේ හැකියාව

වර්තමානයේ පර්යේෂණ මගින් අනාවරණය කර ඇති පරිදි බිම්මල්වල ග්ලුකන් සංයෝග, ෆීනොලික සංයෝග හා ග්ලුකොසිනොලේට් සංයෝග වැනි කාණ්ඩවලට අයත් සංයෝග විශාල ගණනක් අඩංගු වේ. මෙම සංයෝග සතුව පිළිකා, අධිරුධිර පීඩනය, හෘදයාබාධ සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝග සුව කිරීමේ ගුණයක් පවතී. ඇතැම් බිම්මල් විශේෂ වලින් ලබාගන්නා සංයෝග ලියුකේමියාව වැනි රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි. එමෙන්ම හෝමියෝපති චිකිත්සාව, චීන වෙද වට්ටෝරු හා ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෙද වට්ටෝරු වලට විවිධ බිම්මල් විශේෂ යොදා ගැනීම තුළින් බිම්මල් සතුව ඇති ඖෂධීය ගුණය තවදුරටත් පැහැදිලි කරගත හැකිය. උතුරු කොරියාවේ සාම්ප්‍රදායික වෛද්‍ය වරු ද විවිධ බිම්මල් වර්ගවලින් ඖෂධ තනයි. Yeongji නැතහොත් Yungee යන නමින් හැඳින්වෙන බිම්මල් විශේෂයකින් සාදන සියලු නිදන්ගත රෝග සඳහා සුදුසු සර්ව රෝග නිවාරණ ඖෂධය ලෙස හැඳින්වෙන ඖධෂය එවන් ඖෂධයකි.
බිම්මල් දියවැඩියාවට හොඳ ඔසුවක් වන්නේ මෙහෙමයි
රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කිරීමට උපකාරි වන හෝමෝනයක් වන ඉන්සියුලින් වලට දේහ සෛල දක්වන ප්‍රතිරෝධය වැඩිවීම නිසා රුධිරගත ග්ලුකෝස් මට්ටම වැඩිවීම හේතුවෙන් දියවැඩියා තත්ත්වය ඇති වේ. වර්තමානයේ දියවැඩියාව පාලනය සඳහා යොදා ගන්නා Insulin”, “Pheneformin”, “Troglitazone”  වැනි බෙහෙත් වර්ග වලින් රුධිර ග්ලුකෝස් මට්ටම පාලනය පමණක් සිදුකරන අතර එමගින් එමගින් ඉන්සියුලින් සඳහා දක්වන ප්‍රතිරෝධතාවයේ අඩුවීමක් සිදු නොවේ. එබැවින් දිගින් දිගටම එම ඖෂධ භාවිත කල යුතුය. එහෙත් බිම්මල්වල ඇති Glucaronoxylomannan හා Exopliasachoride වැනි සංයෝග මගින් රුධිර ගත ග්ලුකෝස් මට්ටම අඩුකරන අතර ඉන්සියුලින්වලට දක්වන ප්‍රතිරෝධතාවද අඩුවීම සිදුවේ. එමෙන්ම ඉහත සංයෝග බහුල බිම්මල් නිසා ඉන්සියුලින්වලට සෛල දක්වන පුතිරෝධතාව අඩුවන බවට විදේශීය රටවල සතුන් යොදා සිදුකරන ලද ඇතැම් පර්යේෂණ ප්‍රතිඵල මගින් තහවුරු කර ඇත. එම නිසා බිම්මල් දිගින් දිගට ආහාරයට එක් කර ගැනීමෙන් දියවැඩියා තත්ත්වය පාලනය කරමින් තවදුරටත් වර්ධනය වීම මග හරවා ගත හැකිය.
  බිම්මල් ශරීරයට ප්‍රතිශක්තිකරණයක් ලෙස ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි
පර්යේෂණ ප්‍රතිඵල වලින් අනාවරණය කරගෙන ඇති පරිදි බිම්මල් පරිභෝජනය නිසා වසා සෛල වර්ධනය වීම වැඩිවේ. මෙම වසා සෛල බෝවන රෝගවලට හේතු වන වෛරස් ආසාදනවලින් ආරක්ෂා වීම සඳහා වැදගත් වන අතර ආසාදන හා විෂවීම් වලදීද එම රෝගවලට ප්‍රතිරෝධීතාවක් බිම්මල් මගින් දක්වයි. බිම්මල්වල අඩංගු බීටා ග්ලුකන් සංයෝග මෙම ප්‍රතිශක්ති කරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා දායක වේ. එසේම මෙහි ඇති ග්ලුකන් සංයෝග සහ ergostrol සංයෝගය මගින් පිලිකා ඇතිවීමේ අවදානම අඩුකිරීම සහ සමහර බිම්මල් වලින් පිළිකා සෛල විනාශ කරන සෛල වර්ධනය වන බවටද සාක්ෂි ලැබී ඇත.
 මෙසේ බලන කල රසවත් ආහාරයක් ලෙස භාවිතා කල බිම්මල් රෝගී නිරෝගි සෑම අයෙකුටම කිසිදු බියකින් තොරව භාවිතා කල හැකි අතර, අඩු මේද ප්‍රමාණයක් සහ අන්තර්ගත පෝෂක සංඝටක, ජෛව රසායනික සංඝටක සැලකූ විට බොහෝ රෝග වලින් වැලකීමටත් නිදන්ගත රෝග පවා පාලනයකර ගැනීමටත් හැකිවනු ඇත.
 ආර්යා පුවත්පත ඇසුරිනි.   
 
 
  

0 comments:

Post a Comment