May 18, 2018

ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහල


ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහළක් ඉදිකිරීමට අවශ්‍ය නව උළු වර්ග නිපදවීමට සහ අලෙවිය සදහා ලොව ප්‍රසිද්ධ Tesla (ටෙස්ලා) සමාගම කටයුතු කළ බව වාර්තා වේ. 

සූර්ය කිරණ වලින් බලශක්තිය ලබාගත හැකි වන පරිදි වීදුරුමෙන් වූ උළු වලින් වහළය සාදා ඇති අතර පාරම්පරික නිවාසවල වහළට සමාන වහළක් ලෙස දිස්වෙන සේ එම උළු සැලසුම් කර තිබේ. සවි කර ඇති සමහර උළු, සුර්යාලෝකයෙන් විදුලිබලය නිපදවිය හැකි සූර්ය කෝෂවලින් සමන්විත වන නමුත් සියලු උළු ස්වරුපයෙන් ඒකාකාර ලෙස දිස්වේ.

සූර්ය කෝෂ සහිත වර්තමාන සෙවිලි පියැසිවලට වඩා දිගු කල් පවතින, වඩා හොඳ පෙනුමක් ඇති සහ අඩු වියදමින් සුර්ය බලශක්තිය ලබාගත හැකි නව සූර්ය වහළක් නිර්මාණය කිරීම තම ඉලක්කය බව ටෙස්ලා ආයතනයේ නිර්මාතෘ Elon Musk (එලොන් මස්ක්) පැවසුවේය. නව සුර්යකෝෂ උළු සාමාන්‍ය උළු වලට වඩා තෙගුණයකින් ශක්තිමත්ය, එහෙත් බර හරි අඩකින් අඩු බව වාර්තා කරන ටෙස්ලා ආයතනය සුර්යකෝෂ උළු සදහා ජිවිත කාලයක වගකිමක් ලබාදේ.

කෙසේවෙතත් වර්ග මීටර් 240 නිවසක සූර්යකෝෂ වහළක් ස්ථාපිත කිරීමේ වියදම ඩොලර් 69,000 ක් වනු ඇතැයි සමාගම ගණන් බලා ඇත. එය සම්ප්‍රදායික උළු ඇතුළු ද්‍රව්‍ය වලින් ස්ථාපිත වහලකට වඩා අධික වැයකි. එහෙත් සූර්යකෝෂ වහලය නිසා ඉදිරිකාලයේ විදුලි බිල්පත් සදහා නිවැසියන් කළ යුතු ගෙවීම් අඩු කළ විට මෙම අමතර වැය පියවා ගත හැකි බව සාමාගම පවසා තිබේ. තවද සුර්යකෝෂ බලශක්තිය භාවිතා කරන සමහර අයගෙන් රජය අය කරන බදු අඩු කිරීමේ ප්‍රතිපත්තියද මෙහිදී වාසි සහගත වේ.

නිවෙස්වලට විදුලිය ලබාදෙන සුර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරිද ඔවුන්  නිපදවා අලෙවිකරයි. දහවල හෝ රාත්‍රියේ ඕනෑම වේලාවක භාවිතායට ගත හැකි ලෙස විදුලිය ගබඩා කර තබාගන්නා Powerwall නමින් හඳුන්වන එම බැටරිය නව සුර්යකෝෂ වහල ඉදිකිරීමේදී නොමිලේ නිකුත් කරයි.

"සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකි විදුලි මෝටර් රථද අප සමාගම නිෂ්පාදනය කරන නිසා මෙම නිෂ්පාදන ද්විත්වයම පෘථිවියේ බලශක්ති සැපයුම සුරැකීමට උපකාරී වේ. තිරසාර බලශක්ති අනාගතයක් ගැන සිතන විට සූර්යයාගෙන් ශක්තිය උපදවන මෙන්ම මිනිසුන්ගේ අවධානය ලබාගත හැකි සුන්දර වහලවල් අවශ්‍ය වේ. එවිට එම බලශක්තිය Powerwall වැනි බැටරි සහ වාහන ආරෝපණය කරනු ඇත. අප අපේක්ෂා කරන අනාගතය එයයි.” Musk පැවසුවේය.
  
මාදිලි දෙකක නව සුර්යකෝෂ උළු දැනට නිෂ්පාදනය කර ඇති අතර ඉදිරියේදී තවත් මාදිලි කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ආරම්භයක් ලෙස ඇමෙරිකාවේදී සුර්යකෝෂ උළු සහ වහල ඉදිකිරීම් පිළිබද ඇස්තමේන්තු හා මිලදී ගැනීම අන්තර්ජාලය හරහා සිදු කළ හැකි බවද වාර්තාවේ සදහන්ය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/tgmk6G7uh0M?t=6

0 comments:

Post a Comment